ලෙබනනය ගාසා තීරයක් බවට පත් වීමට ඉඩ දිය නොහැකියි..

ලෙබනනය තවත් ගාසා තීරයක් බවට පත් වීමට ඉඩ දිය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පවසයි.

by Staff writer 25-09-2024 | 9:05 AM

COLOMBO ( News 1st ) - ලෙබනනය තවත් ගාසා තීරයක් බවට පත් වීමට ඉඩ දිය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් පවසයි.

ඔහු මේ බව සදහන් කළ‍ෙ අමෙරිකාවේ නිව් යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරය අමතමින්.

ලොව ඇතැම් රටවල්, ජාත්‍යන්තර නීතිය පාගා දමමින්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේ ය.

සිය දේශනයේදී,  එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, යුක්රේනය, ගාසා තීරය, ලෙබනනය සහ සුඩානය යන රටවල් මුහුණ දෙන ආක්‍රමණ උපුටා දක්වමින් අදහස් පල කළේ ය.

ඇතැම් බලවත් රටවල් කිසිදු ප්‍රතිවිපාකයකින් තොරව, තවත් රටක් ආක්‍රමණය කොට, එහි මුළු සමාජයම විනාශ කර දමන බව ඔහු ප්‍රකාශ කළේ ය.

එම රටවල් තම වැසියන්ගේ සුභසාධනය පවා මුළුමනින්ම නොසලකා හරිමින්, වෙනත් රටක් ආක්‍රමණය කිරීමට පෙලැඹීම දැඩි ලෙස හෙලා දකින බවද මහ ලේකම්වරයා සදහන් කළේ ය.

පාලකයින්ගේ මෙම තීරණ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ සිවිල් වැසියන්ට බව ඔහු පෙන්වා දුන්නේ ය.

ගාසා තීරයේ හමාස් සංවිධානය සමග යුධ වදිමින්, ගාසා තීරයේ සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු සමාජ පද්ධතිය බිඳ හෙලා ඇති ඊශ්‍රායලය පසුගිය දින කිහිපය තුල ලෙබනනයට අඛණ්ඩ ප්‍රහාර එල්ල කළේ ය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 41,000කට අධිකයි.

සඳුදා සිට ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාර හමුවේ ලෙබනන වැසියන් 550කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

පසුගියදා ඊශ්‍රායලය සූක්ෂ්මව හිස්බුල්ලා සංවිධානයට අයත් සන්නිවේදන උපකරණ දහස් ගණනක් දුරස්ථව පුපුරවා හරිමින් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය.