නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

by Staff writer 23-09-2024 | 1:41 PM

COLOMBO ( News 1st ) - නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු  63කින් අද(23) ජය ගත්තේය.

තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 340කි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබා ගත්තේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස් කළේ ය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් රැස් කළ අතර නායක ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු ගණන 40කි.

අජාස් පටේල් ලකුණු 90ට කඩුලු 6ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 309කි.

ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 96කදී බිඳ වැටුණේය.

කේන් විලියම්සන් ලකුණු 30ක් ලබා ගත්තේය.

ටොම් ලේතම් ලකුණු 28ක් රැස් කළේ ය.

ටොම් බ්ලන්ඩල් ලබාගත් ලකුණු ගණන 30කි.

අද දිනට තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 68ක් තුළ කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 207කි.

නවසීලන්ත ඉනිමේ 9වැනි කඩුල්ල ලෙස රචින් රවීන්ද්‍ර ලකුණු 92කට දැවී ගියේය.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ විලියම් ඕරූක් දැවී ගියේ නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙසය.

ප්‍රභාත් ලකුණු 68කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ඒ අනුව ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 71යි පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 211ක් පමණි.