ජනපති අනුරට රටවල් රැසකින් සුබ පැතුම්!

ජනපති අනුරට ඉන්දියාව, චීනය, අමෙරිකාව ඇතුළු රටවල් රැසකින් උණුසුම් සුබ පැතුම්!

by Staff writer 23-09-2024 | 8:46 PM

COLOMBO (News1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

ඒ, එක්ස් පණිවිඩයක් නිකුත් කරමිනි.

ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබුණේ, දෙරට ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සමීපව කටයුතු කිරීමට තමන් බලාපෛාරොත්තුවන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඊයේ(22) රාත්‍රියේ නව ජනාධිපතිවරයා හමුවී සුබ පැතුම් එක් කළේය.

මෙම හමුව සිදුවූයේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජාතික ජන බලවේගය කාර්යාලයේදීයි.

ශිෂ්ටාචාර නිවුන් දරුවන් ලෙස දෙරට ජනතාවගේ සමෘද්ධිය සඳහා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට තමන් කැප වී සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පසුව එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සාම්ප්‍රදායික මිත්‍රත්වය දේශපාලන සහයෝගිතාව හා අන්නෝන්‍ය විශ්වාසය පෙරදැරි කර ගනිමින් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්ව ඉදිරියටත් කටයුතු කිරීමට තමා සුදානම් බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා අධාරණය කළේය.

චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, නව ජනාධිපතිවරයාට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්ය.

එක් තීරයක්, එක් මාවතක් සහයෝගිතාවයේ විපුල පල දෙරටටම අත්කර ගැනීම සදහා චීන ලංකා මුලෝපායික සහහෝගිතා සබදතාවය පදනම්කර ගනිමින් දෙරට අන්නෝන්‍ය සහයෝගයෙන් කටයුතු කල යුතු බව ද චීන නායකයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග් මහතා ඊයේ(23) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී සුබ පැතුම් පිරිනමා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

ඇය පවසන්නේ සාමකාමීව ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට ද සුබ පැතුම් එක්කරන බවයි.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් මහතා නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර ඇත්තේ සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට අමෙරිකාව ප්‍රශංසා කරන බවයි.

ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවනයෙන් යුත් සමාජයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටින බවත්, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර  දිසානායක මහතා සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ද නව ජනාධිපති අනුර  දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේය.

ඔහු පවසන්නේ සමීප අසල්වැසියන් ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.

පාකිස්ථාන අගමැති ෂෙහබාස් ෂරීෆ් මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දෙරට සබඳතා ශක්තිමත් කරගනිමින් අනුර දිසානායක මහතා හා එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

මේ අතර  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදෙකි මහතා නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කරමින් පවසන්නේ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා‍ සමීපව කටයුතු කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවාසී ජනතාව ක්‍රියාකාරීව දායක වීම වෙනුවෙන් ද තානාපතිවරයා සුබ පැතුම් එක්කර තිබේ.

වෙනිසියුලා විදේශ කටයුතු අමාත්‍ය වෑන් ගිල් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ, මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ සබඳතා ඉදිරියට ගෙන යාමේ අභිලාෂය පෙරදැරිව ජනාධිපතිවරයාටත් ශ්‍රී ලාංකීය ජනතාවටත් සුබ පතන බවයි.