2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය අද...

by Staff writer 21-09-2024 | 7:55 AM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වේ.

උදෑසන 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ට ය.

ඒ වෙනුවෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක, ඡන්ද කොට්ඨාස 160 ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13 421 කි.

මෙවර ජනාධිපතිවරණය, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය ය.

එම සංඛ්‍යාව, 38 කි.

ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 40 354 ක්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඒ අතරට, නව ඡන්ද දායකයින්, 11 ලක්ෂ 48 258 දෙනෙකු ඇතුළත් ය.

මෙරට ලියාපදිංචි ඡන්ද දායකයින් වැඩිම පිරිසක් සිටින්නේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළය.

එම සංඛ්‍යාව, 18 ලක්ෂ 81 129 කි.

මෙරට අඩුම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ය.

එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව, තුන් ලක්ෂ 15 925 කි.

ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කළ බව, මැතිවරණ කොමිසම සඳහන් කරන ලදි.

ජනාධිපතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 50000 කට අධික පිරිසක් යොදවා තිබේ.

සාමකාමී, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ඡන්ද දායකයින්, ඡන්දය සලකුණු කළ යුත්තේ කෙසේ ද?


මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට අදත්, ආසන්නතම තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබාගැනීමට අවස්ථාව පවතී.

කෙසේ වෙතත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද, පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි ය.


ඡන්දය සලකුණු කිරීම සඳහා පිළිගත් අනන්‍යතා පත්‍ර මොනවා ද?


ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇතුලු වීමට අවසර හිමි වන්නේ, නම් කළ සීමිත පිරිසකට පමණයි.

මෙවර ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ ස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන ඒම සහ භාවිතය තහනම් වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඒකරාශී වීම්වලින් තොරව නිවෙස් වලට වී සිටින්නැයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, ඡන්දදායකයින්ට දැනුම් දෙයි.