ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්...

මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 63,000ක්.. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු ක‍රොත් නීති දැඩි වෙයි..

by Staff writer 19-09-2024 | 7:29 AM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මේ වනවිට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් බවයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ බලධාරීන් සමග මේ වනවිට සාකච්ඡා පවත්වා ඇති බවයි.

මැතිවරණ කාල සීමාව තුළ ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව තල්දූව මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරණයෙහි ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් යොදවා ඇතැයි ද නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඊයේ දිනය අවසන් වනවිට මැතිවරණය ආශ්‍රිතව පැමිණිලි 449ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 309ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙසට වාර්තා වන බව තල්දූව මහතා පැවසීය.

ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 108කි.