බෝතලයක ද්‍රවයක් පානය කළ ධීවරයෙකු විජයබාහු නෞකාවට..

මුහුදේ පා වූ බෝතලයක ද්‍රවයක් පානය කර රෝගී තත්ත්වයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවකට ලබාගත් ධීවරයා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබා ගනී..

by Staff writer 01-07-2024 | 8:25 AM

COLOMBO (News 1st) - මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කර රෝගී තත්ත්වයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවකට ලබාගත් ධීවරයා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබාගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවෙන් රැගෙන ආ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගී ධීවරයා මෙන්ම මියගිය ධීවරයාගේ සිරුර ද රැගෙන ආ බවයි.

ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මගින් ඊයේ උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එලෙස මුදවාගත් ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු නෞකාව තුළදී මිය ගියේ ය.

රෝගී තත්ත්වයේ සිටින ධීවරයාට විජයබාහු නෞකාවේදී සිය වෛද්‍ය කණ්ඩායම හදිසි ප්‍රතිකාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මේ වනවිට ඩෙවෝන් 5 නමැති අදාළ බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු මිය ගියේ ය.

අදාල යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමග තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය 4 වැනිදායි.