මන්නාරමේ සුළං විදුලි බලාගාරයට මොකද වෙන්නේ?

මන්නාරම සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සමේ කරුණු සලකා බැලීම අගෝස්තු 02 වැනිදා..

by Staff writer 18-06-2024 | 6:20 PM

COLOMBO (News 1st) -මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම අගෝස්තු මස 02 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දින නියම කළේ ය.

පෙත්සම් අද විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.

වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

මිලියනයක පමණ පක්ෂීන් ශීත සෘතුව ගෙවීමට මෙම භූමියට පැමිණෙන බව ද, පෙත්සමේ සඳහන් වේ.

මෙම මාර්ගයට කිසියම් බාධාවක් ඇති වුවහොත් මෙම පක්ෂීන්ගේ සංක්‍රමණික රටාවට සැලකිය යුතු බාධාවක් ඇති වන බව පෙත්සම්කරු සිය පෙත්සම මගින් අවධාරණය කරයි.

මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම් දූපත තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා බාහිර කරුණු මත පදනම්ව බවත්, එම ව්‍යාපෘතිය සඳහා එම දූපත තෝරා ගැනීමට වෙනත් විද්‍යාත්මක හෝ සුවිශේෂී හේතුවක් නොමැති බවත්, එම භූමි කලාපය ඉතා සංවේදී පරිසර කලාපයක් බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වාදී ඇත.

ඉන්දියානු අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ ආචාර්යය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ ආචාර්යය අවන්ති පෙරේරා මහත්මියයි.