මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම බලපෑමක් ද?

මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම බලපෑමක් ද?

by Staff writer 29-09-2023 | 6:19 PM

COLOMBO (News 1st) - මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමුකර ඇත.

මෑත කාලයේ වඩාත් කතා බහ ලක් වූ නඩු කටයුතු කිහිපයක් විභාග වූයේ ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේයි.

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුත්ත මෙන්ම කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේ සිදු කෙරුණි.

ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව අද (29) පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා කර තිබුණි.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ, තමන්ගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් සහා පීඩනය හේතුවෙන් තමන් දරන සියලු විනිසුරු තනතුරුවලින් ඉල්ලා අස්වන බව මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවයි.

අදාළ ලිපිය පසුගිය 23 වැනි දා අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කර ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

බීබීසී සිංහල පුවත් සේවය ද පවසා ඇත්තේ, ජීවිත තර්ජන හා අධික මානසික පීඩනය හේතුවෙන් විනිසුරුවරයා සිය ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් ඔවුන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර තිබුණි.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ විභාගවන නඩු 5 කට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇති බවයි.

ඒ සඳහා උපදෙස් ගැනීමට විනිසුරුවරයා සිය කැමැත්තෙන්ම නීතිපතිවරයා හමුවීමට ගොස් ඇත්තේ, අදාළ නඩුවල වග උත්තරකරුවෙකු නිසා බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

ඔහුට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවත් අධිකරණ අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට පවසා තිබුණි.

ටී. සරවනරාජා මහතා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථය ද විකුණා ඇති අතර ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකු ද හමුවී මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවට තොරුතුරු සොයා බැලීමේදී අනාවරණය වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව බීබීසී සිංහල සේවය වැඩිදුටරත් කරුණු වාර්තා කර ඇත.

විනිසුරුවරයාට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කළා ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ටී. සරවනරාජා විනිසුරුවරයාට ලබා දී තිබූ ආරක්ෂාව එලෙසින්ම පැවති බවයි.

කිසිසේත් එම ආරක්ෂාව අඩු කිරීමට කටයුතු නොකළ බව ඔහු සඳහන් කළේ ය.

මෑත කාලයේ ටී. සරවනරාජා විනිසුරුවයා සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වුණේ, කුරුන්දි විහාරය හා සම්බන්ධ සිදුවීමක් හේතුවෙනි.

මොකක්ද මේ සිදුවීම ?

පසුගිය ජුලි මස 04 වැනිදා ටී. සරවනරාජා විනිසුරුවරයා කුරුන්දි විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබුණි.

පසුව මේ සම්බන්ධයෙන් සරත් වීරසේකර මන්ත්‍රීවරයා ජුලි 07 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේ ය.

සරත් වීරසේකර මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර නීතිඥවරු පසුගිය ජූලි 11 වැනි දා හර්තාල් ව්‍යාපාරයක ද නිරත වුණි.

අනතුරුව අගෝස්තු මස 22 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා පැවසුවේ ටී. සරවනරාජා විනිසුරුවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි.

මේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් යළිත් උතුරු නැගෙනහිර නීතිඥවරු අගෝස්තු 25 වැනි දා විරෝධතාවක ද නිරත වුණි.