කැනඩාවේ චෝදනා අසත්‍යයයි - අලි සබ්‍රි

මහින්ද, ගෝඨාභය ඇතුළු පිරිසට පැනවූ සම්බාධක ගැන වැඩ බලන කැනේඩියානු මහකොමසාරිස්ගෙන් කරුණු විමසයි..

by Staff writer 11-01-2023 | 6:14 PM

COLOMBO ( News 1st ) - මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කැනඩාව ඊයේ (10)  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු  සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළේ ය.

1983 සිට 2009 දක්වා කාලසීමාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජෝලි මහත්මිය ඊයේ (10) නිවේදනය කළාය.

මෙහිදී විශේෂ ආර්ථික පියවර පනතේ රෙගුලාසි යටතේ පනවා ඇති ඉලක්කගත සම්බාධක අනුව එරට තුළ ඇති වත්කම් අත්හිටුවීමට ඉඩ ලැබෙන අතර සංක්‍රමණ හා සරණාගත පනත යටතේ කැනඩාවට ඇතුළු වීමට අවසර නොමැති පුද්ගලයින් බවට ද පත්වේ.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු  සිව්දෙනාට සම්බාධක පැනවීම පිළිබඳව කරුණු විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට සිටින වැඩ බලන කැනේඩියානු මහකොමසාරිස් ඩැනියෙල් බූඩ් මහතා අද (11)  විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබුණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ  ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ, ඒකපාර්ශ්විකව සිදුකළ මෙම සම්බාධක පැනවීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩ බලන මහකොමසාරිස්වරයාට රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කළ බවයි.

කැනඩා රජය  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු  සිව් දෙනාට සම්බාධක පනවා ඇත්තේ තහවුරු නොකළ චෝදනා මත යැයි ද අලි සබ්රි මහතා මෙහි දී දැනුම්දී තිබේ.

මෙම සම්බාධක අනුව ඔවුන්ට කැනඩාවට ඇතුළු වීමට අවසර නොමැති අතර එරට තුළ වත්කම් ඇත්නම් ඒවා ද අත්හිටුවීම සිදුවේ.