මිල්ලනිය විදුහල්පතිනියට හා පොලිස් නිලධාරීන්ට ඇප

මිල්ලනිය සිසුන්ට පහරදීමේ සිද්ධිය: විදුහල්පතිනියට හා පොලිස් නිලධාරීන්ට ඇප

by Staff writer 16-11-2022 | 1:32 PM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මිල්ලනිය කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිනිය මෙන්ම මිල්ලනිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කර තිබේ.

ඒ, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කරමිනි.

ළමාරක්ෂක අධිකාරිය මගින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදීම ඇතුළු චෝදනා යටතේයි.

එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාවින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥයන් කළ කරුණු දැක්වීම සලකා බැලූ  අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කරනු ලැබීය.

එහිදී ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල මුලික කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති බවයි.

විදුහල්පතිනියගේ හිංසනයට ලක් වූ එම පාසලේ 5 ශේණියේ ඉගෙනුම ලබන සමහර සිසු දරුවන්ගේ මව්පියන් සහ භාරකරුවන් ඔවුන් අධිකරණය වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත  ඉදිරිපත් කිරීමට අකමැත්තක් දක්වන බව ද ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. 

නඩුව යළිත් ජනවාරි 18 වැනි දා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.