පැය 24ක් තුළ රිය අනතුරුවලින් 8ක් මරුට

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 8ක් මරුට

by Staff writer 05-11-2022 | 9:20 PM

COLOMBO (News 1st) - ගත වූ පැය 24 තළ වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් තුන්දෙනෙකුම මියගියේ වව්නියාවේ දී සිදු වූ බස් රථ අනතුරකිනි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ  සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් වව්නියාව නොච්චිමොටේ ප්‍රදේශයේ දී පාලමක ගැටී අනතුරක් සිදු වුණේ අද අලුයම 2.00 ට පමණය.

අනතුර සිදුවන අවස්ථාවේ තවත් බස් රථයක් පසුපසින් පැමිණ ඇති අතර එම බස් රථය අසළ තිබු ගසක ගැටී තිබුණි.

පාලමේ ගැටුණු බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර රියැදුරු ඇතුළු 20 දෙනෙකු මේ අනතුරින් තුවලා ලැබීය.

ඒ අතරට කාන්තාවන් 09 දෙනෙකු ඇතුළත් ය.

රෝහල්ගත කිරීමෙන් පසු බස් රථයේ රියැදුරු සහ තරුණියක් ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබේ.

බස් රථයේ රියැදුරු 33 හැවිරිදි වැල්විටිතුරේ පදිංචිකරුවෙකි.

අනතුරින් මියගිය තරුණිය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව පොලීසිය තහවුරු කර ගෙන තිබේ.

23 හැවිරිදි ඇගේ නම රාමක්‍රිෂ්ණන් සයාගරී.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සයාගරී දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවයි.

ඇගේ මව සහ පියා කථනාබාධිත යුවළකි.

අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පැවසීය.

පුස්සැල්ලාව, හෙල්බොඩ කටුකිතුල ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසර් රථයක් අනතුරට ලක්වී‍මෙන් එහි රියැදුරා මිය ගොස් තිබේ.

අද අලුයම 4.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පටු වංගුවක දී බවුසර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය 05 කණුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

තවත් අනතුරක් සිදු වුණේ, බලංගොඩ - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීයි.

ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයට පෙරළිමෙන් සිදු වූ මේ අනතුරින් සිව්දෙනෙකු තුවාල ලැබීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ විවාහ මංගල්‍යයකට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසකි. 

තුවාලකරුවන් මේ වනවිට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.