ගාලු මුවදොර නිර්පාක්ෂික ජන අරගලයට දින 18යි

ගාලු මුවදොර නිර්පාක්ෂික ජන අරගලයට දින 18යි

by Staff Writer . 26-04-2022 | 11:47 AM

COLOMBO (NEWS1ST): ගාලු මුවදොර , ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිර්පාක්ෂික ජන අරගලය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ජන අරගලයට සහය වීම සඳහා ජනතාව එකතු වී සිටින්නේ, පක්ෂ පාට , ආගම්භේද නොතකමිනි. රටේ වත්මන් ගැටලු විසඳන්න නිසි කලට නිසි තීරණ නොගත් ජනපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් වන්නැයි, බල කරමින් ජනාධිපති කාර්යාලය අසල ක්‍රියාත්මක නිර්පාක්ෂික අරගලයට අදට දින 18 කි. ඊයේ රාත්‍රියේත් අරගල භූමියේ විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ. මේ වන විටත් දිවයිනේ නන් දෙසින් පැමිණෙන නිර්පාක්ෂික ජනතා සහය අඛණ්ඩව අරගලයට ලැබෙමින් පවතී. ජනතාව පීඩාවට පත්කරමින් සිටින ආණ්ඩුව හා ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට බලකෙරෙන අරගලයට ජනතාව, ආගමික නායකයින් විවිධ සංවිධාන හා වෘත්තිකයින් නොකඩවා සහය දෙමින් සිටී. මේ අතර ඊයේ පස්වරුවේදිත් අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවෝ පිරිසක් සිය විරෝධය පළ කරමින් සිටියහ. මේ අතර කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ජන අරගලයට සහය පළ කිරීම සඳහා ඊයේ දිවයින පුරා විරෝධතා රැසක් ක්‍රියාත්මක විය. වත්මන් ආණ්ඩුවට එරෙහිව අනුරාධපුර නගරයේ මවක් සිය අවුරුදු එකහමාරක දරුවා සමග සත්‍යග්‍රහයක නිරත විය. වේයන්ගොඩ නගර මධ්‍යයේ ද ඊයේ විරෝධතාවක් පැවැත්වුණු අතර විරෝධතාවට සහය ලබාදෙමින් නගරයේ සියලු වෙළඳසල් වසා දැමිණ. එළුවාපිටිය ප්‍රදේශයේ ජනතාව ද පාගමනින් පැමිණ මේ විරෝධතාවට එක්විය. මාතර ගොඨාගෝගමදී ද ජනතාව විරෝධතාවයේ නිරත විය. මහියංගනය ඔරුබැදිවැව ගම්මානයේ සිට තරුණ පිරිසක් පාගමනින් නගරයට පැමිණ සිය විරෝධතාවය පළ කළේ ය. මේ අතර ගොවි ගැටලුවලට විසඳුම් ඉල්ලා ගොවීහු ඊයේ රිදිමාලියද්ද නගරයේ විරෝධතාවක නිරත වූහ. වෙන්නප්පුව ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව විරෝධතාවක නිරත වුණේ, ජනපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් වන්නැයි බල කරමිනි.