කළු දිලීර රෝගය වැළඳී පුද්ගලයෙකු මියයයි

මෙරට කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ කළු දිලීර රෝගය ආසාදිත පළමු මරණය වාර්තා වෙයි

by Staff Writer . 22-10-2021 | 4:45 PM

COLOMBO (NEWS1ST):  මෙරට පළමු වරට කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ කළු දිලීර රෝගය ආසාදිත පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ.

කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ, ඇල්පිටියේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා ඔහු මියගොස් තිබිණ. අනතුරුව, පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය වැඩිදුර පරික්ෂණ සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර තිබේ. ඊයේ නිකුත් කෙරුණු එම වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ පෙණහලු ආශ්‍රිතව කළු දිලීර රෝගය වැළඳි ඇති බව තහවුරුවී ඇතැයි වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය විසින් තහවුරු කළා ය. කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ, කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් කළු දිලීර රෝගීන් මීට පෙර හඳුනාගත්ත ද, කළු දිලීර හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය මෙය වන බවයි.