අයහපත් කාලගුණයෙන් එක් අයෙකු මරුට: 5,777කට පීඩා

අයහපත් කාලගුණයෙන් එක් අයෙකු මරුට: දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් 5,777කට පීඩා

by Staff writer 10-07-2021 | 7:51 PM

COLOMBO (News 1st): අධික වැසි සමග ඇතිවූ ආපදා හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගම්පොල දොලොස්බාගේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 76 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවය. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 06ක, පුද්ගලයින් 5,777 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර, ගාල්ල සහ කිලිනොච්චිය එම දිස්ත්‍රික්ක වේ. පුද්ගලයින් 67 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. අධික වැසි සමඟ ඇතිවූ ආපදා හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර, අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 142කි. කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හට ගත්තේය. අධික වැසි සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු 03ක් විවෘත කර තිබේ. නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ , ඒ හේතුවෙන් බුලත්සිංහල - මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී ඇති බවය. පස් කඳු කඩා වැටීමෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව ඇතැයි නිව්ස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේය. කැලණි, ගිං, කළු සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් පහල යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සූගීෂ්වර මහතා සඳහන් කළේ , කෙසේවෙතත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගග මිල්ලකන්ද ප්‍රදේශය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බවය. අධික වැසි සමග දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළේය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇති විය හැකියි. උතුරු , උතුරුමැද , වයඹ , බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.