by Staff writer 14-06-2021 | 1:33 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද(14) පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව මේ වනවිට අවලංගු කර තිබේ.
මාධ්‍ය හමුව කල්දමා ඇත්තේ, විවෘත විවාදයකට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා කාරියවසම් මහතාට අභියෝගයක් කර තිබූ පසුබිමකදීය.
ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පෙරේදා ලිපියක් නිකුත් කළේ ය.
එම ලිපියට ඊයේ පිළිතුරු දුන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා නීතිඥ සාගර කාරියවසම් මහතාට අභියෝග කළේ, විවෘත විවාදයකට එන ලෙස පවසමිනි.
අද පෙරවරු 10.00 ට නීතිඥ සාගර කාරියවසම් මහතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වන බව කලින් දැනුම් දී තිබුණත් පසුව දැනුම් දුන්නේ, නොවැළක්විය හැකි හේතුවක් මත මාධ්‍ය හමුව අවලංගු කරන බවය.
ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයට ඉදිරියේදී පිළිතුරු දෙන බවත් මාධ්‍ය හමුව අවලංගු කළේ කිසිදු බලපෑමකින් නොවන බවත් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අප කළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජීවන වියදම් කමිටුවේදී ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳව අවධානය යොමු වූ බවය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැතිවරයා සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන් ජීවන වියදම් කමිටුවට සහභාගි වූ බව ද එම නිවේදනයේ සඳහන් විය.
එහි දැක්වුණේ, ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවය.