ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමේ ගැටලුව

ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමේ ගැටලුව තවදුරටත්..

by Staff writer 07-06-2021 | 10:09 PM

COLOMBO (News 1st) - එංගලන්ත සංචාරය පිළිබඳව අද පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පත් කළ නියෝජිත නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා තහවුරු කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් නව ගිවිසුම අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුව මගින් සකස් කළ අතර එය විනිවිදභාවයෙන් තොර බවට පවසමින් ක්‍රීඩකයින් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ. එම වාර්ෂික ගිවිසුමට එළැඹීමට ක්‍රීඩකයින්ට ලබා දුන් කාලය අවසන් වූයේ පසුගිය 03වැනිදා යි. මේ අතර එංගලන්ත සංචාරයට පෙර වාර්ෂික ගිවිසුමට එළැඹීමට නොහැකි බව ක්‍රීඩකයින් 38 දෙනෙකු අත්සන් කළ ලිපියකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ ය. එංගලන්ත සංචාරය සඳහා පමණක් ගිවිසුමකට එළැඹෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට තෝරා ගත් ක්‍රීඩකයින්ට දැනුම් දී තිබූ අතර එහි ඇතුළත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ද එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබුණි. ඒ අනුව, ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටින හෝටල් පරිශ්‍රයට පැමිණී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අද(07) පස්වරු 3.00 වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඒ සඳහා කාලය ලබා දීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පත් කළ නියෝජිත නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා සඳහන් කළේ, එංගලන්ත සංචාරය පිළිබඳව අද පැවැති සාකච්ඡාවලදී දෙපාර්ශවය එකඟතාවයකට පැමිණි බවයි. එම සංචාරය නිමා වී යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව අනෙකුත් ක්‍රීඩකයින් පිළිබඳව සාකච්ඡා කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාර දැක් වූ බව ඔහු සඳහන් කළේ ය. මේ අතර මෙම ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. උපුටා ගැනීම..
'' ක්‍රීඩකයින් ගිවිසුමට එකඟ නොවීම පිළිබඳව කනගාටුවට පත් වෙනවා. ගෙවීමක් හොඳ තත්ත්වයක පැවතීම වැදගත් වෙනවා. නමුත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී එය හේතුවක් නොවිය යුතුයි. ක්‍රීඩකයින් සැම විටම රට පෙරට තැබිය යුතුයි''
උපුටා ගැනීම අවසන්. ක්‍රීඩකයින්ගේ විනය සහ දක්ෂතාවයන් සම්බන්ධව ඔවුන්ට වගකීමක් මෙන්ම හැඟීමක් තිබිය යුතු බවට විවාදයක් නැත. නමුත් ක්‍රිකට් බලධාරීන් සිදු කළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු රැසක් පසුගිය වකවානුව තුළ අනාවරණය විය. විගණන වාර්තාවෙන් හා කෝප් කමිටුවෙන් ක්‍රිකට් බලධාරීන් සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මෙවැනිම ආකාරයකින් ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ගැටලුවකි.