ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව පරදී..

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව පරදී..

by Staff writer 05-06-2021 | 9:44 PM

News 1st - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ අද පැවැති තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි වටයේ තරගයක් වූ මෙය දකුණු කොරියාවේදී පැවැත්විය. ශ්‍රී ලංකා සහ ලෙබනන් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, H කාණ්ඩය යටතේය. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ 10 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළේය. ප්‍රතිවාදී ලෙබනන් ක්‍රීඩකයින් පළමු අර්ධයේදී ගෝල 3 ක් වාර්තා කළ අතර ඒ අනුව එම අර්ධය නිමා වනවිට ගෝල 3 ට 1 ලෙස ලෙබනන කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය. දෙවැනි අර්ධයේ 61 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා තවත් ගෝලයක් වාර්තා ක⁣ළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල ද්විත්වයම වාර්තා කළේ වසීම් රාසික්. කෙසේ වෙතත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා එය ප්‍රමාණවත් වුණේ නැත. ඒ අනුව ගෝල 3 ට 2 ක් ලෙස ලෙබනන් කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේය.