කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ටෙස්ට් ජයක්

ප්‍රවීන්ගේ සුපිරි පන්දු යැවීමෙන් කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ටෙස්ට් ජයක්

by Staff writer 03-05-2021 | 12:25 PM

COLOMBO (News 1st) : බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාවට ලකුණු 209කින් ජය ගැනීමත් සමගිනි. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර එක හමාරකට පසුවයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 493 ක් රැස් කර, ඉනිම අත්හිටුවිය. බංග්ලාදේශට රැස් කරගත හැකි වුණේ, ලකුණු 251 ක් පමණි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 194 ක් රැස් කර, නැවතත් ඉනිම අත්හිටුවිය. බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 437 කි. පස් වැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 177ක් ලබා සිටියේය. ලිටන් ඩාස් ලකුණු 17 කට දැවී ගිය අතර තයිජුල් ඉස්ලාම් ලකුණු 2කට දැවී ගියේ ය. මෙහෙදි හසන් ලකුණු 39ක් ලබා ගත්තේය. බංග්ලාදේශ කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 227 ක් පමණි. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ 22 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම මෙම තරගයේදී ඉනිම දෙකේදී කඩුලු 11 ක් දවා ගත්තේ ය. එය මෙරට පන්දු යවන්නෙකු තම මංගල ටෙස්ට් තරගයේදී වාර්තා කළ හොඳම පන්දු යැවීමයි. තරගයේ වීරයා සම්මානය ද ප්‍රවීන්ට හිමිවිය.