New Diamond නැවෙන් වන්දි අය කරගෙන නැහැ

MT New Diamond නැවෙන් සමුද්‍රයට වූ හානියට වන්දි මෙතෙක් අය කරගෙන නැහැ - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

by Staff writer 06-04-2021 | 1:54 PM

COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාවේ තෙල් කාන්දුව හේතුවෙන් සිදුවූ සමුද්‍ර හානියට ලබා ගත යුතු වන්දි මුදල මෙතෙක් අයකර ගෙන නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා ඒ බව සඳහන් කළේ, නිව්ස්ෆස්ට් කළ විමසීමකදීය. සමුද්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති බව ද, ඔහු පැවසුවේය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, අදාළ නෞකාව හිමි සමාගමෙන් මේ වනවිට අවස්ථා දෙකකදී වන්දි ලබාගෙන ඇති බවය. ඒ, නෞකාවේ ගින්න නිවා දැමීම ඇතුළු මෙහෙයුම් සහ ඊට අදාළ මෙහෙයුම් වෙනුවෙනි. රුපියල් මිලියන 10ක සහ රුපියල් මිලියන 442ක වන්දි මුදලක් මීට පෙර වන්දි ලෙස අය කරගත් බව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේය.