by Staff writer 08-02-2021 | 9:36 PM
COLOMBO (News 1st) – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් MTV චැනල් පුද්ගලික සමාගම විසින් විකාශය කළ වාර්තාවන්ට එරෙහිව ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම ගොනු කළ නඩුව කොළඹ දිසා අධිකරණ අංක 01 හි දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවේ ය.
දෙපාර්ශවයම තම වාචික දේශන පැවැත්වීමට සූදානම් දැයි දිසා විනිසුරු විමසූ විට එයට සූදානම් බව MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ප්‍රකාශ කළේ ය.
විත්තිකාර පාර්ශවය මාධ්‍ය ආයතනයක් වන බැවින් දැනට නිකුත් කර ඇති වාරණ නියෝගයෙන් ඔවුන්ට සිදුව ඇති බලපෑම පිළිබඳව ද නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේ ය.
දිසා විනිසුරු දෙපාර්ශවයට යෝජනා කළේ, වාචික දේශන වෙනුවෙන් සවිස්තරාත්මක ලිඛිත දේශන ගොනු කරන ලෙසය.
දෙපාර්ශවය වෙනුවෙන්ම පෙනී සිටි ජනාධිපති නීතිඥවරු ඊට එකඟ විය.
මේ අනුව මාර්තු මස 15 වැනිදා වනවිට දෙපාර්ශවයම ලිඛිත දේශන ගොනු කළ යුතුයි.
නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, නීතිඥ ජීවන්ත ජයතිලක, නිරන්ජන් අරුල්ප්‍රගාසම්, දමිත කරුණාරත්න, එන්.කේ.අශෝක්බරන් හා මියුරු ඉගලහේවා යන මහත්වරු MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් නඩුවට පෙනී සිටිය හ.
පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හා නීතිඥ රුවන්ත කුරේ මහතා ය.