Jaffna Stallions කණ්ඩායමේ ආශ්චර්යමත් වේග පන්දු යවන්නා, ගම්මැද්දෙන් සොයා ගත් විජේරාජ්

by Janitha Mendis 27-11-2020 | 4:40 PM

''ඉරණම කවදාවත් වළක්වන්න බැහැ කියලා කියමනක් තියෙනවා...''

තරුණ සෙබස්තියන්පිල්ලෙයි විජේරාජ්ගේ කාතාවේදී ඒක හරියටම හරි 'කිලිනොච්චි එක්ස්ප්‍රස්' කියලා නම් දරපු විජේරාජ් ඊයේ (26) දිනයෙන් ඇරඹුණු LPL තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට ක්‍රිකට් ලොවට පිවිසුණා. විජේරාජ්ගේ කතාව වෙනස්ම ආකාරයේ සුවිශේෂී එකක්... COLOMBO (News 1st) : 2016 වසරේ දී ක්‍රියාත්මක වූ ගම්මැද්ද ක්‍රියාන්විතයේ එක් කණ්ඩායමක් ජනතා ගැටලු විමසමින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට යමින් සිටියා. අප කණ්ඩායම එහි සංචාරය කරන විට විජේරාජ් හිටියේ පලෙයි කියන දුෂ්කර ගමේ එයාගේ ගෙදර. සංචාරයෙන් වෙහෙසට පත්ව සිටි ගම්මැද්ද අපේ කණ්ඩායම විජේරාජ්ගේ ගෙදරටත් ගොඩවුණා. ඒ වනවිට රූපවාහිනියෙන් ක්‍රිකට් තරගයක් නරඹමින් සිටි විජේරාජ් නිව්ස්ෆස්ට් ගම්මැද්ද කණ්ඩායමේ චතුරංග රාජපක්ෂ සමග සංවාදයක නිරත වුණා. එම අදහස් හුවමාරුවෙදී ඔහු කියලා තිබුණා, ක්‍රිකට් ලොව තමන්‌ගේ වීරයා වූ ලසිත් මාලිංග තරම් වේගයෙන් තමන්ට පන්දු යවන්න හැකි බව අපේ ජීවිතවල ගොඩක් අවස්ථා එවැනි සංවාදවලට විතරක් සීමා වෙනවා. ඒ වුණත් අපේ චතුරංග, විජේරාජ් කිව්ව දේ ප්‍රායෝගිකව බලන්න ගම්මැද්ද කණ්ඩායමේ සෙසු පිරිසත් පෙළඹෙව්වා. ඉතින් එයාලා විජේරාජ්ට කිව්වා. එයාගේ හැකියාවන් පෙන්වන්න කියලා... අඩි 6ක් උස සිහන් සිරුරැති විජේරාජ් තමන්ගේ හැකියාව පෙන්නන පොඩ්ඩක් ත් ප්‍රමාද වුණේ නැහැ. ඉරුණු ඇඳුමක් ඇඳගත් විජේරාජ් පරණ ලෙදර් බෝලයක් අරගෙන ගේ පිටිපස්සට ගියා. වත්තේ කෙළවරේ එක් විකට් එකක් ඉන්දලා තිබුණා. ඒක තමයි ඔහුගේ ඉලක්කය, ඊළඟට සිදු වුණ දේ එම දර්ශනය දුටු හැමෝගෙම මනසට කා වැදුණා. විජේරාජ් දුවල ගිහින් විදුලි වේගෙන් පන්දුව යොමු කළා. පන්දුව යොමු කළ හැම මොහොතකදීම විකට්ටුව බිඳී විසිරී ගියේ බලා සිටි සියලු දෙනා විශ්මයට පත් කරමිනි. එහිදී විජේරාජ්ගේ විශේෂත්වයක් දුටු ගම්මැද්ද කණ්ඩායම් ජෙෆ්රි ජෙබදර්ශන් ඒ පිළිබඳව කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා දැනුවත් කරන අතර එම මොහොතේම සමූහ අධ්‍යක්ෂවරයා විසින් කැපිටල් මහරාජා සමූහයේ ගරු සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාට දැනුම්දීමෙන් පසු කිසිදු පැකිලීමකින් තොරව විජේරාජ්ව News 1st හි සේවයට බඳවා ගැනීමට තීරණය කරනවා. එහි ප්‍රතිඵලය වෙන්නෙ, මෙම තරුණයා නොබෝ දිනකින් News 1stහි සේවය සඳහා කොළඹට පැමිණීමයි. එහි සේවය කරන අතරතුර ක්‍රීඩා සමාජයක ක්‍රිකට් ක්‍රීඩා කිරීම අවස්ථාව හිමි කර ගැනීම ඔහුගේ ඒකායන අරමුණ වුණා. ''මට මතකයි විජේ හමුවූ මුල් අවස්ථාව.. ඔහු ගොඩක් ලැජ්ජාශීලි කෙනෙක්, ඒවගේ ම සිංහල පොඩ්ඩක්වත් කතා කරන්න ඔහුට හැකියාවක් තිබුණෙ නැහැ. ඒත් මම ඔහුගේ ඇස්වල අධිෂ්ඨානය කියන දෙය දැක්කා. මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නැහැ...'' මුලින්ම කොළඹට පැමිණි අවස්ථාවේ විජේ හැසිරුණු ආකාරය සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සිහිපත් කළේ එලෙසින්.. ඉන් පසු ගතවූ අවුරුදු 4 තුළ විජේරාජ් ජයග්‍රහණය සහ පරාජය යන දෙකම අත්දුටුවා. විජේරාජ් ගොඩක් රටවල ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන්ගේ ඇගයීමට ලක්වුණත් අද වනතෙක් ඔහු පළමු පෙළ ක්‍රීඩා තරගයකට ක්‍රීඩා කර නැහැ. තරගබිමේදී ඔහු ලංකාවේ ඇතැම් කීර්තිමත් ක්‍රීඩකයින් පරාජය කළත් ඔහුට ක්‍රීඩා සමාජයකට ඇතුළත් වෙන්න බැරි වුණේ ඇයි කියන එක අදටත් ප්‍රශ්නාර්ථයක්. කෙසේ වෙතත් ඔහුගේ දැඩි අධිෂ්ඨානය හා අපරාජිත ආකල්පය ප්‍රතිඵල අත්විඳින්න හැකිවුණේ, LPL තරගාවලිය සඳහා Jaffna Stallions කණ්ඩායමට ඔහු තෝරාගත් බවට ලද දුරකතන ඇමතුමත් සමගයි. ඒ ඇමතුමට තිබූ හොඳම වෙලාව ඒක... කොරෝනා නිසා රටේ සීමා කිරීම් තිබූ වෙලාවේ විජේරාජ් තමන් සිටි කුළී කාමරේ දොරට බැඳලා තිබූ රබර් බෙල්ට්එ ක ඇදලා තමයි සිය අතේ ශක්තිමත් හා නම්‍යශීලි බව රඳවා ගත්තෙ විජේරාජ්ට අද News 1st එකේ යාළුවො එක්ක හොඳට සිංහල කතා කරන්න පුළුවන්.. 'ගම්මැද්දෙ විජේරාජ්' විජේරාජ්ගේ යාළුවෝ එයාට කතා කරන්නෙ එහෙමයි කොරෝනා වසංගතෙත් එක්ක අපි අත්විඳින වෙනස් ජීවන රටාව මැද්දේ විජේරාජ්ගේ කතාව අපිව දිරිගන්වනවා ඒ කියන්නෙ අපේ බලාපොරොත්තු දල්වනවා. ඒ වගේ ම විජේග් කතාව ආත්මශක්තියේ බලයට හොඳම උදාහරණයක්

සුබ පැතුම් විජේරාජ්...!

ඔබ දැනටමත් වීරයෙක් වෙලා ඉවරයි

එදා විජේරාජ් ගැන අප අවදි කළ මතකයෙන් බිඳක්...