කොදෙව් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී

කොදෙව් ක්‍රිකට් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී

by Staff writer 13-11-2020 | 6:56 AM
COLOMBO (News 1st) : තම කණ්ඩායමේ ක්‍රීඩකයින් නවසීලන්ත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් සමාව අයැද තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දිනවල නවසීලන්තයට පැමිණ සිටින්නේ ටෙස්ට් සහ පන්දුවාර 20යි 20 තරගාවලියකට සහභාගී වීමටයි. නවසීලන්ත නිරෝධායන නීතිවලට අනුව විදෙස් රටවල සිට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කළ යුතු වේ. හුදකලාව සිටියදී පවා සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පුහුණුවීම් සිදු කිරීමේ අවස්ථාව නවසීලන්තයෙන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි විය. කෙසේ නමුත් පසුගිය බදාදා සිට ඔවුන්ට පුහුණුවීම් කටයුතු අත්හිටුවීමට සිදු වූයේ ඇතැම් කොදෙව් ක්‍රීඩකයින් ආහාර බෙදාගෙන ඇති බවට සහ නිරෝධායන කාල සීමාව ඉක්ම යෑමට පෙර බාහිර සමාජය සමග එක්ව ඇති බවට නවසීලන්ත සෞඛ්‍ය අංශවලට වාර්තා වීමත් සමගයි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට දින 4ක පුහුණුවීම් අහිමි විය. තම ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස්, නවසීලන්ත ජනතාවගෙන් සමාව අයැද සිටී. ඔහු සඳහන් කළේ, ඉදිරියේදී පුහුණුවීම් කටයුතු ආරම්භ කර සාර්ථක ලෙස තරගාවලියට මුහුණ දීමට උත්සාහ කරන බවයි. තරගාවලියේ පළමු පන්දුවාර 20යි 20 තරගය නොවැම්බර් 27 වැනිදා ඕක්ලන්ඩ්හිදී ආරම්භ වන අතර ඊට 20යි 20 තරග 3ක් ඇතුළත් ය. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා හැමිල්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.