හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ මීළඟ සැළසුම කුමක්ද? 

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ මීළඟ සැළසුම කුමක්ද? 

by Staff writer 13-06-2020 | 11:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාවෙන් අනාවරණ වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වී නොමැත.

මේ, විකාශන අයිතිය සම්බන්ධයෙන් සිදු වූ ගනුදෙනු පිළිබඳ අනාවරණයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයෙන් හෙළිව ඇත්තේ එම ආයතනය සතුව දේශීය බැංකු ගිණුම් 15 ක් ඇති බවයි. පෞද්ගලික බැංකු 2ක පවතින ගිණුම් 4ක් කවර අරමුණක් සඳහා කෙදිනක ආරම්භ කරන ලද්දේ ද යන්න තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකිව තිබේ. අදාළ බැංකු ගිණුම්වලට අදාළව සෘජුව කරන ලද ගනුදෙනු විගණනය සඳහා ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණ ද විගණනය සිදුකළ දිනය වනවිටත් පෞද්ගලික බැංකු ගිණුම් 4 කින් අදාළ තහවුරුව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැත. විගණනයේදී අනාවරණය වී තිබුණේ 2013 සිට 2020 දක්වා වූ කාලයට රූපවාහිනී විකාශන අයිතිය පැවරීමට අදාළ ටෙන්ඩරය පිරිනැමීමේදී අමෙරිකානු ඩොලර් එක් කෝටි අසූ දෙලක්ෂ හතලිස් දෙදහස් හරසිය එකොළහක මූල්‍ය අවාසියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇති බවයි. එම ආයතනය ද මෙය පිළිගෙන තිබුණි. 2018 වසරේ ගෙවීම් ප්‍රමාද වූ අවස්ථා තුනකදී අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ අට දහස් දෙසිය පනස් හතයි ශත තිහක මුදලක් අයකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්වොයිස් පත් නිකුත් කර නොතිබූ බවද විගණන වාර්තාව පෙන්වා දෙන්නේය. 2018 වර්ෂයට අදාළව ඉන්වොයිස් 15ක් වෙනුවෙන් ලැබිය යුතු අමෙරිකානු ඩොලර් එක් කෝටි තිස්පන්ලක්ෂ අසූ අටදහස් හත්සිය තිහක් ආවරණය කරමින් බැංකු ඇපකර ලබාදීමට හෝ ලබාගැනීමට කටයුතු කර නොතිබූ බව ද විගණනයේ කරුණු ඇතුළත් ය. විගණනයේදී අනාවරණ වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදේශවල බැංකු ගිණුම් 3 ක් පවතින බවයි. ඒ පිළිබඳ පළමුවරට අනාවරණ වුයේ 2018 වසරේ එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමිවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 5 යි දශම 5 මුදලක් හොංකොං ගිණුමකට යැවීමට ගත් උත්සාහයත් සමගිනි. එම වසරේම දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් මෙරටට හිමිවිය යුතු දෙවැනි වාරිකය වන අමෙරිකානු ඩොලර් 436541 මුදල වෙනත් ගිණුමකට යැවීමට උත්සාහ දරා ඇති බවට විගණනයේදී අනාවරණ විය. පසුව හෙළිවුයේ දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් වාරිකය වන අමෙරිකානු ඩොලර් 187 084.75 ක මුදල අමෙරිකාවේ B B V A COMPASS ගිණුම වෙත යවා ඇති බවයි. හිටපු මූල්‍ය අංශ ප්‍රධානියා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලිඛිත ප්‍රකාශ මගින් මෙලෙස මුදල් යැවීමට උත්සාහ නොකළ බව සඳහන් කළද එවැනි උත්සහයක් ගත්තේ යැයි නිරීක්ෂණය වන බව විගණන නිලධාරීන් සඳහන් කර තිබේ. අදාළ ඊ මේල් ගනුදෙනු සිදුවී ඇත්තේ හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීයාගේ නිල ඊ මේල් ලිපිනවලින් බවද එහි සඳහන් ය. විගණනයට අදාළව සර්ට් ආයතනය ඉදිරිපත් කළ වාර්තාවෙන්ද මේ බව තහවුරු කර තිබේ. මූල්‍ය අංශ ප්‍රධානි සහ ප්‍රධාන විධායක නිලධාරී -මයි මේල්- නැමැති ඇප් එකක් භාවිත කර ඇති බවද සර්ට් වාර්තාවෙන් හෙළිව ඇති කරුණකි. එය යොදා ගැනීමෙන් මෙහෙයුම් පද්ධතියට පිටපත් නොවන ලෙස ඊ මේල් සකස් කළ හැකි බවද සර්ට් වාර්තාවේ සඳහන් ය. මුර පදයක් භාවිත නොකර සහ අනන්‍යතාව තහවුරු නොකර අදාළ යෙදුමට ප්‍රවිෂ්ඨ විය නොහැකියි. මුදල් වෙනත් ගිණුමකට යොමු කිරීම පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරී සහ මුල්‍ය අංශ ප්‍රධානියා නොදැන සිටි බවට තහවුරු කිරීමට විගණන නිලධාරීන්ට සාක්ෂි නොමැති බව ද එම නිරීක්ෂණවල ඇතුළත් ය. සිය අවිධිමත් ක්‍රියා පටිපාටි හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක පාඩුවක් මේ වනවිට සිදුකර අවසන් ය. ''විනිවිදභාවයෙන් ගිණුම් කටයුතු සහ ක්‍රියාශීලී පරිපාලනය මගින් සංයුක්ත යහපාලනයක් සහතික කිරීම සිය මෙහෙවර අතර ප්‍රමුඛ කාර්යයක් කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සිදු කරනු ලබන මෙවැනි කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරන්නේ කව්ද? '' මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඊමේල් පණිවුඩයක් ඉදිරියේදී තොරතුරු බලාපොරොත්තු වන්න. https://www.facebook.com/NewsfirstSL/videos/252067769429944/