ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ගිවිසුමක

ක්‍රීඩාංගණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ගිවිසුමක

by Staff writer 20-05-2020 | 9:43 PM
COLOMBO (News 1st) : පාදුක්ක ප්‍රදේශයේ හඳුනා ගත් භූමි භාගයක් කේන්ද්‍ර කර ගනිමින් සියලු පහසුකම්වලින් සමන්විත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය පියවර ගෙන තිබිණ. මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටලුවට විසඳුමක් දීමේ වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක බව ද එහි දැක්වේ. පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය දන්වා ඇත්තේ පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලය යටතේ පවතින භූමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එලැඹුණු බවයි. අවබෝධතා ගිවිසුමට අනුව තණතීරු 6කින් සමන්විත ප්‍රධාන තණතීරුව, ජලය බැස යාමේ පද්ධතිය, නවීන පහසුකම් සහිත ක්‍රීඩාගාර සහ පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරනු ඇති බවද සඳහන් ය. ගිවිසුමට අනුව ක්‍රීඩාංගණයේ සියලුම නඩත්තු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටද ක්‍රීඩාංගණය භාවිත කිරීමට ඉඩ සැලසෙයි. මෙම ගිවිසුමට අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයායි. මේ අතර,,අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට සූදානම් බව එම ආයතනය උපුටා දක්වමින් දි අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබේ. ඒ පිළිබඳ අවසන් තීරණය ගැනෙන්නේ, මේ මස අග භාගයේ පැවැත්වෙන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමේදීයි. මේ අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සේවකයන්ගේ ද වැටුප් කප්පාදු කර ඇති බව අයිලන්ඩ් වාර්තාවේ සඳහන් ය. මෙවැනි පසුබිමක් තුළ මෙරට අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යළිත් ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව පන්දුවාර 20/20 ලෝක කුසලානයක සත්කාරකත්වය සහ පන්දුවාර 50 ලෝක කුසලානයක සම සත්කාරකත්වය දැරුවේ දැනට පවතින පහසුකම් යටතේ බවයි. ලෝක කුසලාන තරගාවලියක් සදහා අවශ්‍ය ඉදිකිරීම් සිදු කිරීමේදී ඊට යොදා ගන්නේ ලෝක කුසලානයට ලංසු තබා ලැබෙන මුදල් බවද මහේල පෙන්වා දෙයි. වසර 10ත් 15ත් අතර කාලයක් තුළ ලෝක කුසලානයක සත්කාරකත්වය හිමිවනු ඇතැයි අනුමාන කර, ඩොලර් මිලියන 40ක් වැය කරමින් ක්‍රීඩාංගණ ඉදිකිරීම නිශ්ඵල කාර්යයක් බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ රුපියල් බිලියන 8ක් වැය කරමින් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මෙරට ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවත නැවතත් සිතා බැලිය යුතු නොවේද? https://www.facebook.com/NewsfirstSL/videos/575339436721262/