වයිල්ඩර් පරාජය කළ ෆියුරිට ලෝක බොක්සිං‍ බඳපටිය

වයිල්ඩර් පරාජය කළ ෆියුරිට ලෝක බොක්සිං හෙවිවෙයිට් බඳපටිය

by Staff writer 23-02-2020 | 1:34 PM

News 1st - අමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර්ව පරාජය කළ මහා බ්‍රිතානයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ටයිසන් ෆියුරි දෙවැනි වරටත් ලෝක බොක්සිං කවුන්සිලයේ හෙවිවෙයිට් බඳපටිය දිනා ගැනීමට සමත් විය.

තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලාස් වේගාස් හීදී ය. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. තරගයේ ආරම්භයේ සිටම වැඩි දක්ෂතාවක් දැක්වූ මහා බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සිය ප්‍රතිවාදී අමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර්ට එල්ල කළ ප්‍රහාර හමුවේ වයිල්ඩර් තරගයේ තුන්වන හා පස්වන වටවලදී ඇඳ වැටුණි. කෙසේ වෙතත් තරගය හත්වන වටය දක්වා ක්‍රියාත්මක වූ අතර ටයිසන් ෆියුරිගෙන් එල්ල වූ දැඩි ප්‍රහාරය හේතුවෙන් සිය ක්‍රීඩකයා වන ඩියොන්ටේ වයිල්ඩර්ව තරගයෙන් ඉවත් කර ගැනීමට ඔහුගේ පුහුණුකරුවා පියවර ගත්තේ ය. ඒ, බොක්සිං වළල්ලේ වයිල්ඩර්ගේ අන්තයේ සිට සුදු පැහැති තුවාය සොලවමින් ය. ඒ අනුව අමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර්ව පරාජය කළ මහා බ්‍රිතානයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ටයිසන් ෆියුරි දෙවැනි වරටත් ලෝක බොක්සිං කවුන්සිලයේ හෙවිවෙයිට් බඳපටිය දිනා ගැනීමට සමත් විය. වයිල්ඩර් හා ෆියුරි ලෝක බොක්සිං කවුන්සිලයේ හෙව්වෙයිට් බද පටිය සඳහා තරග කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර පසුගිය දෙසැම්බර් මස පළමු වැනිදා පැවැති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ෆියුරි ජයගත් අඛණ්ඩ 30 වන බොක්සිං තරගය මෙය වන අතර වලිඩර් සිය බොක්සිං දිවියේ පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.