බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ කසළ ගැන යළිත් කතාබහක්

බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ කසළ ගැන යළිත් කතාබහක්

by Staff writer 13-02-2020 | 2:37 PM

COLOMBO ( News 1st ) - බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත කසළ සහිත කන්ටේනරය කොළඹ වරායෙන් සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් පිටතට ප්‍රවාහනය කිරීම වළක්වමින් අධිකරණය පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා එම ඉල්ලීම කළේ, අභියාචනාධිකරණයෙන් පනවා ඇති එම නියෝගය හේතුවෙන් අදාළ කසළ බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති සාකච්ඡාවලට බාධාවක් වී ඇතැයි පෙන්වා දෙමින් ය. අභියාචනාධිකරණයේ එම නියෝගය බලාත්මකව තිබියදී ප්‍රතිඅපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද මිලින්ද ගුණතිලක මහතා දැනුම් දුන්නේ ය. නීතිපතිවරයාගේ එම ඉල්ලීම පරිදි අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් නියෝගය ලබන 4 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල නියෝග කළේ ය. පරිසර යුක්ති කේන්ද්‍රය එම නඩුව ගොනුකළේ 2017 වසරේදී විදේශ රටවලින් මෙරටට ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත කසළ කන්ටේනර් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට ප්‍රබල හානියක් වී ඇති බව පෙන්වා දෙමින් ය.