ශ්‍රී ලංකා-ඉන්දීය 20යි 20යි දෙවැනි තරගය අද

ශ්‍රී ලංකා-ඉන්දීය 20යි 20යි තරගාවලියේ දෙවැනි තරගය අද

by Staff writer 07-01-2020 | 7:54 AM
COLOMBO (News 1st) : තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - ඉන්දියා පන්දුවාර 20යි 20යි ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඉන්දෝර්හිදී අද පැවැත්වේ. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20යි 20 තරගය වර්ෂාව අතහැර දැමීමට සිදුවිය. පළමු ක්‍රිකට් තරගය පැවැති ගුවහාටිහි සිට පැය 2 යි මිනිත්තු 35 ක ගුවන් ගමනකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය පැවැත්වෙන ඉන්දෝර්හි හෝල්කාර් ක්‍රීඩාංගණයට පැමිණ තිබීම විශේෂත්වයකි. මෙම ක්‍රීඩාංගණයේ මේ දක්වා පවත්වා ඇත්තේ එක් 20යි 20 තරගයක් පමණක් වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එම තරගය ඉන්දියාව ජය ගත්තේ ලකුණූ 88 කිනි. මෙම පිටියේ විශේෂත්වය වන්නේ මෙතෙක් ඉන්දීය කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර ඇති එක්දින හා ටෙස්ට් තරග සියල්ලම ජයග්‍රහණය කර තිබීමයි. පිතිකරුවන්ගේ පරාදීසයක් බදු මෙම ක්‍රීඩාංගණය ලොව කුඩාම ක්‍රීඩාංගන අතරින් එකකි. ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා ලංකා කණ්ඩායම අතර මේ දක්වා ජාත්‍යන්තර 20යි 20 තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් තරග 11 ක ජය ඉන්දීය කණ්ඩායමට හිමිකර ගන්නා විට ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගනන 5කි. ඉන්දියාව තුළදී ඉන්දියාවට එරෙහිව 20යි 20 තරග 8 කට සහභාගී වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2008 වසරේ ජූලි මාසයේ දීයි. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එකවන්නේ වසර 12ක ආසන්න කාලයකට පසු ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික තරගාවලියක් ජය ගැනී‍මේ අරමුණිනි. ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාවට එරෙහිව කිසිදු 20යි 20 තරගාවලියක් ජය ගෙන නොතිබීම ද විශේෂත්වයකි. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබු පළමු 20යි 20 තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරගයටත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බව විදෙස් මාධය වාර්තා කරයි. කෙසේ වෙතත් මෙවර තරගාවලිය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් මාස 18කට පමණ පසුව 20යි 20 සංචිතය සඳහා කැඳවා තිබුණ ද පළමු 20යි 20 තරගයට ඔහුව නම් නොකෙරිණ. පළමු 20යි 20 තරගයට නම් කළ ඉන්දීය සංචිතයේ ශර්දූල් තාකූර් වෙනුවට යුස්වේන්ද්‍රර් චහාල් අද තරගය සඳහා කැඳවීමට වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරට අතර දෙවැනි 20යි 20 තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වේ.