ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සටනේදී රෝහිත්ට විවේකයක්

ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සටනේදී රෝහිත් ෂර්මාට විවේකයක්

by Staff writer 24-12-2019 | 10:51 AM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කර තිබේ.

ආරම්භක පිතිකරු මෙන්ම නිත්‍ය උපනායක රෝහිත් ෂර්මා මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබීම විශේෂත්වයකි. 2019 වසර සඳහා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වූ රෝහිත් ෂර්මාව මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇත්තේ, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිට බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරය දක්වාම පැවැති සියලු තරගාවලිවලට ඔහු සහභාගී වීම හේතුවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි මස 05 වනදා ආරම්භ වේ. තරගාවලියට තරග 3ක් ඇතුළත් වේ. 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය 20/20 සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිව ඇත්තේ විරාත් කෝලිට ය. ශ්‍රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියෙන් ඔහුව විවේක ගන්වා ඇති අතර ආබාධවලට ලක්ව සිටි ජෙස්ප්‍රිට් බුම්රා හා ශිකර් ධවාන් ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සංචිතයට කැඳවා තිබේ. පිට කොන්දේ පහළ කොටසේ සිදුකළ ශල්‍යකර්මයක් හේතුවෙන් මාස 4 ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි බුම්රා අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයකට සහභාගී විය. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමිට ද මෙම සංචිතයේ ස්ථානයක් හිමි වී නොමැත. ලෝකේෂ් රාහුල් , ශ්‍රෙයාස් අයියර් , මනීෂ් පාන්ඩේ , සංජු සැම්සන් , රිශාබ් පාන්ට් , ශිවම් ඩුබේ , යුස්වේන්දර් චහල් , කුල්දීප් යාදෙව් , රවීන්ද්‍ර ජඩේජා , ශර්දූල් තාකූර් , නව්දීප් සයිනි හා වොශින්ටන් සුන්දර් ශ්‍රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු 20/20 තරගය ජනවාරි මස 5 වනදා ඉන්දියාවේ ගුවහාටිහිදී පැවැත්වේ. දෙවැනි 20/20 තරගය ජනවාරි 7 වනදා ඉන්දොරේහීදීත් තුන්වන හා අවසන් 20/20 තරගය ජනවාරි 10 වනදා පූනේහිදීත් පැවැත්වීමට නියමිත ය.