ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 3කට ලකුණු 64 ක්

by Staff writer 19-12-2019 | 10:33 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද කරච්චිහිදී ආරම්භ විය. 

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් රැස් කර ගෙන සිටියේ ය. කාසියේ වාසිය දිනූ පකිස්ථාන ක්‍රිකට් නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඉනිම ආරම්භ කළේ, ශාන් මසූඩ් සහ අබීඩ් අලී ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 10 කි. පකිස්ථාන පළමු ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 167 කදී බිඳ වැටිණි. ටෙස්ට් පිටියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කළ බාබර් අසාම් ලකුණු 60 ලබා ලත්තේ ය. අසාඩ් ශාෆික් අද ටෙස්ට් පිටියේ 26 වැනි අර්ධ ශතකය වාර්තා කළේ ය. ශාෆික් ලකුණු 63 කට දැවී ගියේ ය. පකිස්ථාන කණ්ඩායමට පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 191 ක් පමණි. ලහිරු කුමාර ලකුණු 49 ට කඩුලු 4 ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 71 ට කඩුලු 4 ක් දවා ගත්තා. අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ, නායක දිමුත් කරුණාරත්න සමගින් ඕෂධ ප්‍රනාන්දු ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 28 කි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී ගියේ ය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 25 ක් රැස් කළේ ය. කුසල් මෙන්ඩිස්ට අද රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 13 ක් පමණි.