කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි

කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි

by Staff writer 17-12-2019 | 8:25 AM
COLOMBO (News 1st) : වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ, ඔහු පාකිස්ථානය සමග නිමාවට පත්වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අබාධයකට ලක්වීම ඊට හේතුවෙනි. කෙසේ වෙතත් අබාධයකට ගොදුරු වූ කසුන් රාජිත වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සහ කණ්ඩායම් කළමනාකරු වන අශන්තා ද මෙල් මහතා තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. පාකිස්තානය සමග නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කසුන් රාජිත යොමුකලේ පන්දුවාර 6 ක් පමණි. ඔහු එහීදී නිලකුණු පන්දුවාර 2 ක් ඇතුළුව ලකුණූ 5 ට එක් කඩුල්ලක් දවා ගත්තේ ය. ටෙස්ට් තරග 7 කට පමණක් ක්‍රීඩා කර ඇති කසුන් රාජිත ලකුණු 685 කට කඩුලු 24 ක් දවාගෙන ඇති අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වශයෙන් සටහන් වන්නේ කොදෙව් පිළට එරෙහිව බ්‍රිජ්ටවුන්හිදී ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගැනීමයි. මේ අතර ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන් සංචාරයට එක් නොවූ සුරංග ලක්මාල් වෙනුවට සංචිතයට ආදේශ කළ අසිත ප්‍රනාන්දු මේ වන විට ශ්‍රී ලංකා සංචිතය හා එක්ව ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 19 වනදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිතයි.