රග්බි ලෝක ශූරයින්ට අවසන් මහා තරගය අහිමි වෙයි

රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබයි

by Staff writer 26-10-2019 | 5:09 PM

( News 1st ) - එංගලන්තය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට අද සුදුසුකම් ලබා ගෙන ඇත.

ඒ වත්මන් ලෝක ශූර නවසීලන්තය සමග පැවැති අවසන් පූර්ව තරගය ජය ගනිමින් ය. යොකොහමා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ආරම්භයේ සිටම වත්මන් ලෝක ශූර නවසීලන්තයට එංගලන්තයෙන් දැඩි පීඩනයක් එල්ල විය. තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේ 2 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එංගලන්තයයි. ඒ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ය. පළමු අර්ධයේදී එංගලන්තය හමුවේ නවසීලන්තයට කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය. ඒ අනුව එංගලන්තය එම අර්ධයේදී පෙරමුණ ගත්තේ ලකුණු 10ට 0ක් ලෙසට ය. උත්සාහක දිනුමක්, ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් මගින් ඔවුන් එම ලකුණු 10 රැස් කළේ ය. දෙවැනි අර්ධයේදී නවසීලන්තය ද ලකුණු අතරට පිවිසියේ ය. කෙසේ නමුත් ඔවුන්ට එම අර්ධයේදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 7ක් පමණි. එංගලන්තය දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 9ක් සිය ලකුණු පුවරුවට එක් කළේ ය. ඒ අනුව තරගය අවසන් වූයේ ලකුණු 19ට 7ක් ලෙස එංගලන්තයට ජය හිමිකර දෙමිනි. 2007 වසරෙන් අනතුරුව නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අසමත් වූ පළමු අවස්ථාව මෙයයි.