ටොන්ගා රාජ්‍යයට එරෙහිව ආර්ජන්ටිනාව ජය ගනී

ලෝක කුසලාන රග්බි තරගාවලිය: ටොන්ගා රාජ්‍යයට එරෙහිව ආර්ජන්ටිනාව ජය තහවුරු කර ගනී

by Staff writer 28-09-2019 | 10:00 PM
(News 1st) - ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැති තරග අතුරින් ආර්ජන්ටිනාව, ජපානය සහ දකුණු අප්‍රිකාව ජය වාර්තා කළේ ය. ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි ආර්ජන්ටිනාව සහ ටොන්ගා රාජ්‍ය අතර තරගය පැවැත්වුණේ, " සී " කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙසයි. ආරම්භයේ සිටම ආර්ජන්ටිනා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනිණි. ඔවුහු පළමු අර්ධයේදී ලකුණු 28ක් රැස් කළහ. ප්‍රතිවාදී ටොන්ගා කණ්ඩායමට එම අර්ධයේදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 7ක් පමණි. දෙවැනි අර්ධය තියුණු මුහුණුවරක් ගත් අතර, එම අර්ධයේදී ටොන්ගා කණ්ඩායම ලකුණු අතරට පිවිසි අතර ආර්ජන්ටිනාවට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි නොවීය. කෙසේ වෙතත් ආර්ජන්ටිනාව තරගයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 28 ට 12 ක් ලෙස ය. තරගාවලියේ සත්කාරක ජපානය සමගින් අද තරග වැදුණේ, අයර්ලන්තයයි. මෙම තරගය " ඒ " කාණ්ඩය යටතේ පැවැත්විණි. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය ලකුණු 12ට 9ක් ලෙස පෙරමුණ ගත්තේ අයර්ලන්තයයි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී තරගයේ පාලනය සියතට ගත් ජපානය එම අර්ධයේදී ලකුණු 10ක් රැස් කළේ ය. ප්‍රතිවාදී අයර්ලන්ත ක්‍රීඩකයින්ට එම අර්ධයේදී කිසිදු ලකුණක් රැස් කර ගැනීමට හැකි නොවිණි. ඒ අනුව ජපානය තරගයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 19 ට 12 ක් ලෙසයි. ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ වාර්තා කළ දෙවැනි තරග ජයග්‍රහණය මෙයයි. තරගාවලියේ " බී " කාණ්ඩයේ පැවැති අනෙක් තරගයේදී දකුණු අප්‍රිකාවේ ප්‍රතිවාදීන් වුණේ, නැමීබියාවයි. දකුණු අප්‍රිකාව තරගයේ පළමු අර්ධය ලකුණු 31 ට 3 ක් ලෙස පෙරමුණ ගත්තේ ය. දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 57 ට 3 ක් ලෙස ය. ඔවුන් මෙවර තරගාවලියේ වාර්තා කළ පළමු තරග ජයග්‍රහණය මෙය වේ.