by Staff writer 14-09-2019 | 9:55 PM
COLOMBO ( News 1st ) - ඉන්දීය කණ්ඩායම 7 වන වරටත් ආසියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය අද දිනා ගත්තේ ය.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 3 බිද වැටුණේ ලකුණු 8කදී ය.
නායක ධරව් ජුරෙල් ලකුණු 33ක් රැස් කළ අතර ශශ්වත් රාවත් ලකුණු 19යි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කරන් ලාල් ලකුණු 37ක් රැස් කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශමීම් හුසේන් ලකුණු 8ට කඩුලු 3ක් දවා ගත්තේ ය.
එම්. චෞද්රි ලකුණු 18ට කඩුලු 3ක් දවා ගත්තේ ය.
පන්දුවාර 32යි පන්දු 4කදී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 106ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.
නායක අක්බාර් අලී ලකුණු 23 යි.
එම්. චෞද්රි ලකුණු 21ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ අතර්වා අන්කෝලෙකර් ලකුණු 28ට කඩුලු 5ක් සහ ආකාශ් සිංග් ලකුණු 12ට කඩුලු 3ක් දවා ගත්හ.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 33කදී ලකුණු 101කට දැවී ගියේ ය.
ඉන්දීය කණ්ඩායමේ අතර්වා අන්කෝලෙකර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.