SLC නමින් ඇති තවත් විදෙස් ගිණුමක තොරතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ඇති තවත් විදෙස් ගිණුමක තොරතුරු

by Staff writer 05-09-2019 | 10:12 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදෙස් රටවල බැංකු ගිණුම් පවතින බවත්, එවැනි අවස්ථා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිලවා කෝප් කමිටුව හමුවේ පිළිගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදෙස් රටවල පවතින ගිණුම් අතර බැනමෙක්ස් බැංකු ගිණුම, බී.බී.වී.ඒ. කොම්පාස් බැංකු ගිණුම හා අමෙරිකානු ඩොලර් ගනුදෙනු සඳහා විවෘත කළ ගිණුම ප්‍රධාන වේ. බැනමෙක්ස් බැංකුවේ ඩොලර් ගනුදෙනු සඳහා පවතින ගිණුමේ ලිපිනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිනය සමාන වීමේ කාරණය ද අප අනාවරණය කර තිබේ. වෝහාරික විගණනයෙන් ද තොරතුරු වාර්තා වූයේ, දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව මෙරටට ලැබීමට නියමිතව තිබූ දෙවන වාරිකය වන අමෙරිකානු ඩොලර් 436,541ක මුදල ද වෙනත් ගිණුමකට යැවීමට උත්සහ දරා ඇති බව ය. 2018 ජූලි මස 12 වන දා මූල්‍ය අංශ ප්‍රධානියා සෝනි සමාගමේ සන්දීප් පටෙල්ට යවන ලද ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ, එය වේල්ස් ෆාගෝ නම් බැංකු ගිණුමක් වෙතට යවන ලෙස ය. අදාළ බැංකුවේ ගිණුම් අංක ලබා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අසමත් වූ බව විගණන වාර්තාවේ සඳහන්ව තිබිණි. අප පළමු වරට මෙම අනාවරණය සිදු කරන්නේ, වේල්ස් ෆාගෝ බැංකු ගිණුමේ ගිණුම් හිමියාගේ නම ලෙස සටහන්ව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නමින් විදෙස් රටවල පවතින ගිණුම් සංඛ්‍යාව 4ක් ලෙස දැක්විය හැකි ය. අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හට විදෙස් ගිණුම් පවතින බවට කෝප් කමිටුව හමුවේ පිළිගැනීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙය සිදු කළේ කුමන චේතනාවකින් ද යන්න ඔවුන්ම සිතා බැලිය යුතු ය. යහපත් චේතනාවෙන් ඔවුන් මෙය සිදු කළේ නම් අද මෙවැනි තත්ත්වයක් උදා නොවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොමැත එක් බොරුවක් වසා ගැනීමට බොරු සියයක් කීමෙන් තව තවත් අමාරුවේ වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සිදුව තිබේ.