ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය අමෙරිකාවට

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය අමෙරිකාවට

by Staff writer 08-07-2019 | 6:43 AM
සිව්වැනි වරටත් අමෙරිකාව ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ජය ගත්තේ ය. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ප්‍රංශයේදී පැවැත්විණ. එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අමෙරිකාව සහ නෙදර්ලන්තයයි. ලියොන්හිදී පැවැති තරගයේ පළමු අර්ධය තියුණු ස්වභාවයක් ගත්තේ ය. එම අර්ධයේදී දෙපිළම ගෝල රැස් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ය. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී අමෙරිකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපී පෙනිණ. ඔවුන් සිය පළමු ගෝලය වාර්තා කළේ, තරගයේ 61 වැනි මිනිත්තුවේදීයි. දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් මේගන් රැපිනෝයි එම ගෝලය වාර්තා කළේ ය. ඒ අනුව ඇය ඉතිහාසයට එක් වූයේ ලෝක කුසලාන කාන්තා පාපන්දු අවසන් තරගයකදී දඩුවම් පහරක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙසයි. ලෝක කුසලාන පාපන්දු අවසන් තරග තුනකට ක්‍රීඩා කළ ලොව දෙවැනි ක්‍රීඩිකාව වන්නේ ද මේගන් රැපිනෝයි. තරගයේ 69 වැනි මිනිත්තුවේදී අමෙරිකාව සිය දෙවැනි ගෝලය වාර්තා කළේ ය. එම ගෝලය වාර්තා කළේ රෝස් ලැවෙල් ය. නෙදර්ලන්තයට දෙවැනි අර්ධයේදීද ගෝල රැස් කිරීමට නොහැකි විය. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 2ට 0ක් ලෙස අමෙරිකාවට ජය හිමිකර දෙමිනි. මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක කුසලානය දිනු අමෙරිකා කාන්තා පාපන්දු කණ්ඩායමට සුභ පතා තිබේ. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජයග්‍රාහී කණ්ඩායමට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවයි. කෙසේ නමුත් ධවල මන්දිරයට පැමිණෙන ලෙස තමන්ට ආරාධනයක් ලැබුණහොත් තමා එය නොපිළිගන්නා බවට අමෙරිකා පාපන්දු ක්‍රීඩිකා මේගන් රැපිනෝයි පසුගියදා මාධ්‍ය හමුවේ පැවසී ය.