ඉන්දු - පකිස්ථාන සටන අද

ලෝක කුසලානයේදී පකිස්ථානය පළමු වරට ඉන්දියාව පරදවයි ද? තීරණය අද...

by Staff writer 16-06-2019 | 1:16 PM

News 1st - ඉන්දියාව සහ පකිස්ථානය ක්‍රිකට් පිටියේදී හමුවන සාම්ප්‍රදායික පසමිතුරන් ය.

ඒ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී අද පැවැත්වෙන තරගය පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ ඇත්තේ දැඩි උනන්දුවකි. මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවලදී ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අවස්ථා 6 කදී එකිනෙකා හමුවී ඇති අතර එම තරග 6 දීම ජයග්‍රහණය හිමිවුණේ ඉන්දීය කණ්ඩායමටයි. ඒ හේතුවෙන් අද තරගය සඳහා පකිස්ථානු කණ්ඩායම අවතීර්ණ වන්නේ එක්දින ලෝක කුසලාන තරගයකදී ඉන්දීය කණ්ඩායම මුල්ම වරට පරාජය කිරීමේ අභිප්‍රාය ඇතිවයි. 1992 තරගාවලියේදී මෙම කණ්ඩායම් 2 ක මුල්ම වරට මුණගැසුණු අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට හිමිවුණේ ලකුණු 43ක ජයකි. ඉන්දියාව සහා පකිස්ථානය 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී තරග වැදුණු අවස්ථාවේ ඉන්දියාවට ජය හිමි විය. එසේම ඉන්දීය කණ්ඩායම 1983 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායමත් පරාජය කළේ මෙම පිටියේදී යි. පකිස්ථානු කණ්ඩායමට ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය සුවිශේෂී ස්ථානයක් වන්නේ ඔවුන් 1999 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහි තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙනි. අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2018 ආසියානු කුසලාන තරගාවලියේදී උරෙනුර ගැටුණු අවස්ථාවේදී ජයග්‍රහණය හිමිවුණේ පකිස්ථානු කණ්ඩායමට යි. නමුත් 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම පකිස්ථානුවන් හමුවේ දරුණු පරාජයක් ලැබුවේ එංගලන්ත බිමේදී ම වන අතර මෙම තරගය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් උද්ගත වී තිබුණත් පකිස්ථානු කණ්ඩායම සුපුරුදු රිද්මයට පැමිණියහොත් ඔවුන්ව පරාජය කිරීම එතරම් පහසු නොවනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසති.