ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගය අද යි

ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගය අද එඩින්බර්ග්හිදී

by Staff writer 18-05-2019 | 11:39 AM

News 1st - තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද එඩින්බර්ග්හිදී පැවැත්වේ.

2011 වසරේ සිට ආරම්භ වූ දෙරට අතර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 2 ක් පවත්වා තිබෙන අතර එම තරග දෙකම ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පමණක් තරගාවලියක් පැවැත්වෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර 2011 වසරේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු වරට ස්කොට්ලන්තය සමග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී විය. එඩින්බර්ග්හිදී පැවති එම තරගය ලකුණු 183කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඉන්පසුව 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සමග තරග වැදුණු අතර එම තරගය ද ලකුණු 148 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විණි. ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරග දෙකෙන් ශ්‍රී ලංකාව සතුව සිටින අත්දැකීම් බහුලම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විවේක ගන්වා ඇත. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එක්දින ක්‍රිකට් තරග දෙකම පැවැත්වෙන්නේ එඩින්බර්ග්හි ග්‍රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේදී ය. එඩින්බර්ග්හි ග්‍රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේදී ස්කොට්ලන්තය සමග ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරගයකදී එකිනෙකා හමුවන්නේ වසර 8 කට පසුවයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිත වේ.