කාස්ට සෙමෙන්යාට, මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය

කාස්ට සෙමෙන්යාට, දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය

by Staff writer 26-04-2019 | 2:13 PM
(News 1st) - ඔලිම්පික් ශූරී දකුණු අප්‍රිකාවේ කාස්ට සෙමෙන්යා, 2019 දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තා ය. දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලිය මේ දිනවල පැවැත්වේ. ඊට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටින අතර, මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ඔලිම්පික් ශූරී කාස්ට සෙමෙන්යා සහභාගී වූ මීටර 5000 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණේ ඊයේ දිනයේදී ය. එහිදී ඇය මිනිත්තු 16යි තත්පර 5.97ක දක්ෂතාවක් දැක්වූවා ය. සෙමෙන්යා සහභාගී වන මීටර් 1500 ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිත ය. මේ අතර ඇය ඔලිම්පික් රන් පදක්කම් දිනූ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සෙමෙන්යාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ මේ වන විට නඩු විභාගයක් පැවැත්වෙන අතර ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ, ඇගේ සිරුර තුළ පුර්ෂයින්ට අදාළ හෝර්මෝන වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීම ය. තමා ලබා ගත් ඖෂධයක් හේතුවෙන් මෙලෙස එම හෝර්මෝන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට ඇය පවසයි. සෙමෙන්යා, ලබන සැප්තැම්බර් මාසයේ කටාර්හි දෝහා නුවර පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සහභාගී වීමට නියමිත ය.