20 යි 20 කිරුළ දිනා අදට වසර 5යි....

20 / 20 කිරුළ දිනා අදට වසර 5යි..

by Staff writer 06-04-2019 | 1:48 PM
COLOMBO (News 1st) : එදා 2014 අප්‍රේල් මස 6 වනදා විය. බංග්ලාදේශයේ ඩකා නුවර ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර බහුතරයකගේ අත්වල සිංහ ධජය ළෙලදෙමින් තිබිණ. විදුලි ආලෝකය මධ්‍යයේ පස්වන පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පැවැත්වෙමින් තිබුණි. ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ 18 වන පන්දුවාරයේ පස්වැනි පන්දුව යැවීමට සූදානම් වන විට පන්දුවට පහර දීමට සූදානම්ව සිටියේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන ක්‍රීඩකයෙකු වූ තිසර පෙරේරා ය. තරගයේ ජයග්‍රහණය සඳහා අවැසිව තිබුණේ තවත් ලකුණු 3 ක් පමණි. ඉන්දියාව ලබා ගත් ලකුණු 130 ට එරෙහිව එම අවස්ථාව වන විට ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 128 ක් ලබා සිටියේය. අශ්වින්ගේ පන්දුවට තිසර පිත්ත ක්‍රියාත්මක විය. පන්දුව වේගයෙන් හතරේ සීමාව ඉක්මවා ගිය අතර දහස් ගණනක ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද ශ්‍රී ලංකාව ඉන්දියානුවන් පරදා 2014 ලෝක පන්දුවාර 20යි 20 ක්‍රිකට් කිරුළ දිනාගත්තේ ය. ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ දෙවන ඉහළම කුසලානය හිමි කරගෙන අදට වසර 5 කි. පස් වසරක ලෝක ක්‍රිකට් විස්සයි විස්ස කිරුළේ මතකයන් ආවර්ජනය කර එදා ක්‍රිකට් විරුවන්ට උපහාරයක් වන්නට නිව්ස් ෆස්ට් මෙම ලිපය ගෙන එයි. ලොව පුරා කණ්ඩායම් 16 කගේ සහභාගීත්වයෙන් පැවැති 2014 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝ ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ඇසට කඳුලක් ගෙනදුන්නේ ලාංකේය ක්‍රිකට් වංශකතාවේ සහෝදරයින් බදු වූ කුමාර් සංගක්කාර සහා මහේල ජයවර්ධනගේ අවසන් 20 යි 20 තරගාවලිය එය වීම හේතුවෙනි. කෙසේ වෙතත් සමුගෙන යන්නට පෙර ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට ඔවුන් සමත්විය. තරගාවලියේ පලමු කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරන ලදී. දෙවන තරගයේදී නෙදර්ලන්තය කඩුළු 9 කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලියේ තුන්වන තරගයේදී එංගලන්තය හමුවේ කඩුලු 6 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්ත පරදා මූලික වටයේ අවසන් තරගය ජය ගත්තේ ලකුණූ 59 කිනි. ඒ අනුව සහභාගී වූ තරග 4 න් 3 ක් ජයගනිමින් අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ප්‍රතිවාදීන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ය. ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය ජය ගනිමින් අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගන්නා ලදී. 2014 වසරේ අප්‍රේල් මස 5 වනදා රාත්‍රීය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පහන් කළේ ලෝක කුසලානයක පහස විදීමේ අරමුණිනි. නමුත් තවත් බොහෝ දෙනාකුගේ නෙතට කඳුලක් ගෙනදුන්නේ කුමා - මයියාගේ පිතිහරඹය ඉන් ඉදිරියට 20 යි 20 දැකගත නොහැකි වන නිසාවෙනි. අවසන් තරගයේදී සිය උපරිමය මාතෘ භූමියට ලබාදුන් මහේල ලකුණූ 24 ක් රැස් කල අතර විස්සයි විස්ස දිවියේ අවසන් තරගයේදී විස්සයි විස්ස අර්ධ ශතකයක් වාර්ථා කර කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහනයේ මං මාවත් විවර කරන ලදී. ක්‍රිකට් ලෝකයටම අමතක නොවන මතක රැසක් දායාද කරමින් ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ දෙවන ඉහළම කුසලානය හිමි කරගෙන අදට වසර 5ක් ගත වන විට වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති දේ පිළිබඳ ප්‍රේක්ෂකයින්ට ඇත්තේ කනගාටුවකි. 96 ලෝක කුසලානය ඇතුළුව ලෝක ශූරතා ද්විත්වයක් දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලානයට දින 55 ක් ඉතිරිව තිබියදීත් තවමත් ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් අප සතුව තිබේ ද යන්න ගැටලුවකි. කළ යුත්තේ කුමක්ද යන්න ක්‍රිකට් පිළිබඳ නොදන්නා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් නොදන්නවා විය හැකි ය. නමුත් ක්‍රිකට් දන්නා බලධාරීන්ට හා ක්‍රීඩකයින්ට කිව යුත්තේ අඳුරේ සිට අඳුරට සාප කරනවා විනා අඳුරෙන් එළියට එන යම් මාර්ගයක් සොයාගත යුතු බවය ඒ ජයග්‍රහණයට මාර්ගයයි. මතක තබා ගත යුතු කරුණ නම් සියල්ල අවසානයේ දී ප්‍රේක්ෂකයන්ගේ මතකයෙහි රැඳෙන්නේ ජයග්‍රහණයට පාර කියූ ක්‍රීඩකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය මිස පරිපාලකයන්ගේ හෝ ඇතැම් ක්‍රීඩකයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නොවන බවයි.