දිමුත් කරුණාරත්න සමාව අයදී

දිමුත් කරුණාරත්න සමාව අයදී

by Staff writer 01-04-2019 | 6:54 PM
COLOMBO (News 1st) : බීමත්ව රිය පදවා අනතුරක් කළා යැයි අත්අඩංගුවට ගත් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණය අද නියෝග කළේ ය. එහෙත් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළේ ය. හානි පූර්ණය සිදුවන්නේ, නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව අගතියට පත් පර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටි අතර චෝදනා පත්‍රය ගොනු කිරීම හා පැමිණිල්ල ගොනු කිරීම සඳහා නඩුව ලබන මස 02 වැනිදාට කැල් තැබිණ. මේ අතර දිමුත් කරුණාරත්න මහතා අද නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, මෙම අනපේක්ෂිත අනතුරු සම්බන්ධයෙන් තුවාල ලැබූ රියැදුරුගෙන් සමාව අයදින බවයි. ඉතා සුහදශීලිව මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට සම්බන්ධවීම ගැනත් ඔහු ප්‍රතිකාර ලබා නැවත නිවස බලා යෑමට අවස්ථාව ලැබීම ගැනත් ඔහු සතුට පළකර තිබේ. මේ සම්බන්ධයෙන් කෙරෙන නීතිමය ක්‍රියාමාර්ගවලට සහය දක්වන බව සහතික කරන දිමුත් කරුණාරත්න මහතා පවසන්නේ තමාගේ ක්‍රියාව පිළිබඳව ඉතා හොඳින් දැනුවත් අතර එවැන්නක් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් සිදු නොවිය යුතු බවයි. එම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව දිමුත් කරුණාරත්න නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.