ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට

by Staff writer 25-02-2019 | 12:46 PM

COLOMBO (News 1st) :දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියහ.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි. මෙහි විශේෂත්වය වූයේ, දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වීමයි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පැවැත්විය. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. අනතුරව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත් විණි.