මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක දැලට

මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක "බී" පරීක්ෂණයෙනුත් අසමත්

by Staff writer 29-01-2019 | 4:37 PM
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදු කළ බී සාම්පල පරීක්ෂාවෙන් ද අසමත්ව ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ දී මීටර් 400 ඉසව්වෙන් උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ පසුගිය දෙසැම්බර් මාසයේ දී තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඒ ඔක්තෝබර් මස පැවැති අන්තර් රෙජීමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිදුකළ මුත්‍රා සාම්පල පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙනි ඉන්දියාවේ නව දිල්ලියේ පර්යේෂණාගාරයක දී සිදුකළ මෙම පරීක්ෂණ වාර්තාවට එකඟ නොවන බව පවසමින් බී සාම්පල පරීක්ෂාවට යොමුවූ කාලිංගගේ බී සාම්පලයේ දී අදාල තහනම් උත්තේජක සංඝඨක අඩංගුව ඇති බවයි. ඒ අනුව ඔහුගේ මුත්‍රා සාම්පල ලබා ගත් දින සිට බල පැවැත්වෙන පරිදි වසර 4 ක තාවකාලික තරඟ තහනමක් පැණවෙනු ඇත. ඒ අනුව කාලිංගට ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ නැත. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිත ආයතනයේ විනය කමිටුව මගින් කාලිංග පිලිබද ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන අතර, ඔහුට පණවන තහනම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නියමිතවේ. එසේම, තහනම් උත්තේජක ලබා දීමට අනුබල දුන් හෝ ලබා දුන් පිරිස්වලට එරෙහිව ද නීත්‍යානකූලව දඬුවම් පැණවීමට තහනම් උත්තේජක නිවාරණ පණතට අනුව සිදුකළ හැකිය. යුද හමුදාව නියෝජනය කරන කාලිංගගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ විමුක්ති සොයිසා මහතායි. පසුගිය වසරේ දී, සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණ සාම්පල 275 ක් අතරින් කාලිංග කුමාරට අමතරව වෙනත් ක්‍රීඩා සඳහා සහභාගී වූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගේ සාම්පලවල තහනම් උත්තේජක සංඝඨක තිබූ බවට තහවුරුව ඇත.