ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙවරත් ජොකොවිච්ට

ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙවරත් ජොකොවිච්ට

by Staff writer 28-01-2019 | 8:30 AM
COLOMBO (News 1st) : සිය වාර්තාගත සත්වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළටත්, අඛණ්ඩව තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළටත් හිමිකම් කීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්විය. ඒ මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව හිමිකර ගනිමිනි. මෙල්බර්න් නුවර රොඩ් ලේවර් අරිනා පිටියේදී පැවති මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් සමග ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරග කළේ ය. ජොකොවිච් තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 6 ට 3 ක් ලෙසයි. නැවතත් ක්‍රියාත්මක වූ ජොකොවිච් ලකුණු 6 ට 2 ක් ලෙස තරගයේ දෙවන වටයද ජය ගත්තේ ය. ඔහු තරගයේ තුන්වන වටය ජය ගත්තේ ලකුණූ 6 ට 3 ක් ලෙසයි. ජොකොවිච්, රෆායල් නඩාල්ට එරෙහිව ප්‍රධාන මට්ටමේ තරගාවලියක ලැබූ විශාලතම ජයග්‍රහනය මෙය විම විශේෂත්වයකි. පැය දෙකකුත්, මිනිත්තු 4 කින් තරගය නිමා කළ 31 හැවිරිදි ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ සත්වැනි වතාවටත් දිනාගත් අතර ඊට පෙර මේ කිරුළ 6 වතාවක් දිනා සිටි රෝයි එමර්සන්ගේ සහ රොජර් ෆෙඩරර්ගේ වාර්තාව බිඳ හෙළීමට ද සමත් විය. මීට පෙර විම්බල්ඩන් සහ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා දිනාගත් ජොකොවිච් මේ ජයගත්තේ සිය අඛණ්ඩ තුන්වැනි ග්‍රැන්ඩ් ස්ලෑම් ශුරතාවයයි. එය ඔහු විසින් දිනා ගන්නා ලද 15 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ ද වන අතර ඒ අනුව අමෙරිකාවේ පීට් සම්ප්‍රාස් දිනා සිටි ග්‍රැන්ඩ් ස්ලෑම් කිරුළු 14 පසුකළ ජොකොවිච් වැඩිම ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලාන දිනාගත් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට විශේෂත්වයකි. ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන 20ක් ද, නඩාල් ග්‍රැන්ඩ් ස්ලෑම් කුසලාන 17ක් ද දිනාගනිමින් පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවේ.