සහය පිහිණුම් තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට

ආසියානු ක්‍රීඩා උළෙලේදී සහය පිහිණුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටෙයි

by Staff writer 22-08-2018 | 2:09 PM
COLOMBO (News 1st) - ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද සිව් වන දිනටත් පැවැත්වේ. අද දිනයේ ආරම්භක තරග ලෙස පැවැත්වුණේ පිහිණුම් තරග ඉසව්වයි. එහි ශ්‍රී ලංකා නියෝජනය සිදු වූයේ පිරිමි මීටර් 100x4 නිදහස් ආර සහය පිහිණුම් ඉසව්වේ ය. ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පිරීස් මෙම තරග ඉසව්වට සහභාගී වූහ. එම තරග ඉසව්වේ දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් වීමට සිදු වුණේ තරගයේ නියමිත නීති හා රෙගුලාසි කඩ කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මීටර් 100x4 පිරිමි නිදහස් ආර සහය පිහිණුම් කණ්ඩායම මෙලෙස තරගයේ නීතී රීති කඩ කළ ආසන්න දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මෙම තරග ඉසව්වේ අවසන් මහා තරගයේදී ද මෙලෙස ශ්‍රී ලංකා සහය පිහිණුම් කණ්ඩායම තරගයෙන් ඉවත් විය. මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 63 බර පන්තියේ ටයිකොන්ඩෝ තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ චලින්ද සම්පත් සමත් විය. ඒ, තරගයේ මූලික වටයේ පැවති තරගයකදී ජපානයේ හොම්මා මැසනොජොව පරාජය කරමිනි. ලකුණු 21 ට 18 ක් ලෙස සම්පත් තරගය ජය ගත්තේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ චලින්ද සම්පත්ට එම තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය. ඒ අවසන් 16 දෙනාගේ තරග වටයේදී උස්බකිස්ථාන ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් වීම හේතුවෙනි. ලකුණු 22 ට 6 ක් ලෙස චලින්ද එම තරගය පරාජයට පත් විය.