by Chathuranga Rajapaksha 15-04-2018 | 9:34 PM
COLOMBO (Newsfirst) - එරබදු මල් සහ කෝකිල නාදය අලුත් අවුරුද්දේ මූලික සංකේත දෙකකි.
අවුරුදු ළඟ ළඟම බව පෙන්වමින් පිපෙන එරබදු මෙන්ම, ඒ පණිවුඩය ගෙනෙමින් නාද කරන කොහා ද, දැන් කොහේදෝ ගිහින්.
ඒ කතාවද ඇත්තක්ද ?
මේ පිළිබඳව සොයා බැලීමට අප තීරණය කළෙමු.
අලුත් අවුරුදු සමයේ මල් හට ගන්නා එරබදු ශාකය මේ වනවිට වඳ වී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බව පරිසරවේදින් පෙන්වා දෙන්නේය.
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ එරබදු ශාකය වඳ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ දෙනෙකු එය වගා කිරීමට යොමු නොවීම බව ය.
නාගරීකරණයත් සමග වැටවල් වෙනුවට තාප්ප බිහිවීම නිසා කටු සහිත එරබදු ශාකය ඉවත් වූ බව ත්, පසුගිය දශකය තුළ ඇති වූ ගැටිති රෝගය හා පිටි මකුණා ද එරබදු වැනසී යාමට හේතු වූ බව ත් ඔහු පවසයි.
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා
"ලංකාවේ එරබදු විශේෂ 2න් අවුරුදු කාලෙට මල් පිපෙන්නේ රෙස්ටිනා ඉන්ඩිකා කියන විශේෂය මීට අමතරව අක්කර බදු කියන දුර්ලභ එරබදු විශේෂය ඒකේ මල් පිපෙන්නේ මම අධ්‍යයනය කරලා තියෙන විදියට පෙබරවාරි මාර්තු මාසයේ ඒක නිසා අප්‍රේල් මාසය මුල් කරගෙන මල් පිපෙන අපේ එරබදු ශාකය මේ වනවිට සොයාගැනීමට නොහැකි තරම් දුර්ලභ ශාකයක් වෙලා වගා කරපු එරබදු ගහක් ඇරුණු කොට කිසිම තැනක ස්වභාවික එරබදු ගහක් අපිට දක්නට ලැබුණේ නැ මේ කාලේ වැවිලා තියෙනවා එරබදු මල විදියට අපි මේ දවස්ටිකේම දකින්නේ පිටරටකින් ගෙනල්ල වගා කරලා තියෙන වෙනත් විශේෂයක් ඒක අපේ එරබදු නෙමේ. අපේ එරබදු ශාකය කියන්නේ සංකේතාත්මක ශාකකට වඩා අවශේෂාත්මකව ඖෂධීය හා ආහාරමය වැදගත් කමක් තිබ්බ ශාකයක්"
එරබදු ශාකය ආරක්ෂා කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි පියවර මොනවාදැයි අප ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසුවේය.
"මේ ශාකය වවා ගත්තොත් ඒකට ලොකු ඉඩක් යන්නෑ. වර්ධන විලාසය බැලුවම කුඩා ඉඩක වවන්න පුළුවන්. ඒ නිසා මේක ගෘහ අලංකාර පිණිස වවන වගාවල් ලෙසත් කරන්න පුළුවන්. මේ කොළ ඉස්සර කාලයේ පණු අමාරුව සදහා ව්‍යංජනයක් විදියට භාවිත කළා. ඊට අමතරව රසවත් ආහාරයක් විදියට ගන්න පුළුවන් ඒ වගේම එරබදු ශාකයේ අනෙකුත් කොටස් වල ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. මේක බීජ වලින් විතරක් නෙමේ අතුවලිනුත් ඉතාම ඉක්මනින් ප්‍රචාරණය වනවා. ඒ වගේම නිසරු පසෙත් හැදෙන්න හැකියාව තියෙනවා ඒ නිසා අලෝකය තියෙන කුඩා ඉඩක වුවත් මේක ගහක් විදියට වගා කරගන්න පුළුවන්"
එරබදු මලින් සංකේත වු අලුත් අවුරුදු පරිසය කොහාගේ නාදයෙන් තවත් විසිතුරු වේ.
බොහෝ දෙනෙකු පවසන්නේ දැන් දැන් කොහා ද පෙනෙන්නට නොමැති බව ය.
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා
"මේ අවුරුදු කාලේ කොහාගේ නාදය ඇහුන්නැත්තේ කොහාගේ අඩුවීමක් නිසා හෝ වෙනත් සිද්ධියක් නිසා නෙමේ. කපුටාගේ ප්‍රජනන කාලය සමග කොහාගේ ප්‍රජනන කාලය සමපාත වීම අලුත් අවුරුද්දට සමපාත නොවීම නිසා. කොහාගේ ප්‍රජනන සය හැම අවුරුද්දකදීම අපි දකිනවා කපුටාගේ ප්‍රජනන සමයත් එක්ක එකට බද්ධ වෙලා තියෙනවා. මේ අවුරුද්දේ තිබුණු විශේෂත්වය තමයි කොහාගේ නාදය සහ කපුටාගේ පළමු වර කූඩු සෑදීම කියන කාරණා 2 ම සිද්ධ වුණේ මාර්තු මස අවසාන කාලයේ. පළමුවර කපුටන්ගේ කූඩු සෑදීම අඩු වශයෙන් සිද්ධ වෙච්ච නිසා සහ ඊළග පාර කපුටන් විශාල ප්‍රමාණයක් කූඩු හදන නිසා අප්‍රේල් මාසේ මුල ඇහුණු කොහාගේ නාදයට වඩා කීප ගුණයක් වැඩියෙන්. මැයි මාසයේ මුල කාලයේදි අහන්න ලැබෙයි. මේ හා සමානවම කොහාගේ නාදය වෙසක් කාලයේදී ඇහුණා 2015 වසරේ"
https://www.youtube.com/watch?v=OID-23IG8yg